Thursday, May 11, 2017

පලා යන්න Sinhala translation of De Tunis à Kairouan by Guy de Maupassant


Image result for guy de maupassant de tunis a kairouan
ජීවිතය කෙටිය.      ජීවිතය දිගය.      විටෙක දරා ගත  නොහැක.  
මරණයෙන් කෙළවර  වන  ජීවිතය සැමවිටම  සමානය . කිසිවෙකුටත් මෙය නතර කල නොහැක. වෙනස්  කල නොහැක. තේරුම් ගැනීමට ද නොහැක.  ඉරණම වෙනස් කල නොහී  අප සිත් කෝපයෙන් වෙළෙයි.

අප කුමක්  කලත් අවසානයේ  මිය යනු ඇත.  කුමන ආගමක් ඇදහුවත් , සිතුම් පැතුම් කුමක් වුවත්,   කුමන උත්සාහයක් දැරුවත්  අවසානයේ  මිය යනු ඇත. කිසිවක් නොදැන අප හෙට දිනයේ මිය යන්නේ  දන්නා සියලු දේ කෙරෙහි කළකිරීමෙනි . ජීවන චක්‍රය දුකකි. මිනිසාට එදිනෙද කරන නීරස   ක්‍රියා වලින් මිදිය නොහැක. ඔහු ආබාධිත අසරණයෙක් මෙනි.

උදැසන පිබිද , එහා මෙහා ගොස් , කවුළුව ලඟට වී අසල් වැසියන් දෙස බලා සිටින්න. පියා , මව , දරුවන් සතර දෙනා  , ඔවුහු දිවා ආහාරය ගනිති. ඊයේ දිවා ආහාරය ගත ලෙසම හෙට ද දිවා ආහාරය ගනිති.  පෙර දින ආච්චී ද සිටියාය. අද ඇය  එතන නැත!  පියා ඉතා සතුටින් සිටියි. පිස්සෙක්!

ඔවුහු විවාහයක් ගැන කතා කරති . මරණයක්  ගැන කතා කරති.  කුකුල් මස් හොද්දේ සැර ගැන කතා කරති. ගෙදර වැඩකාර ගෑණිගේ  හොරකම් ගැන කතා කරති. දහසකුත් නොවැදගත් දේ ගැන තැවෙති , ලත වෙති. මෝඩ යක්කු !

අවුරුදු 18ක් පුරාවට ඔවුන් ජීවත් වන මේ නිවාස දකින විට මහත් අප්පිරියාවක් හා  කේන්තියක් දැනෙයි.  මේ තමා  ජීවිතය!  
බිත්ති හතරයි,  දොර   දෙකයි,  ජනේලයයි , ඇදයි , පුටුවයි, , මේසයයි . 
හිර ගෙයක්, මේක හිර ගෙයක්!  එකම නිවසක අවුරුදු ගණනාවක් සිටියහොත් එය හිර ගෙයක් වනු නියතයි.

පලා යන්න . හැර දමා  යන්න.  දන්නා පළාත් , සුපුරුදු මිනිසුන් ,  නීරස ක්‍රියාවන්, එකම සිතුවිලි .  මේ සියලු දෙයින්ගැලවී යන්න.

උදේ සිට රෑ  වන තෙක්  හැඬීමෙන්  විඩා  වූ විටෙක ,  නැගිට ගොස් වතුර වීදුරුවක් වත් බීමට තරම් කම්මැලි වූ විටෙක , 

නිතරම දකින මිතුරන්,  කේලාම් සොයන අසල්  වැසියන්  දැකීමෙන් විඩා වූ විටෙක , 

නිතර යන එන පාර , ජීවත්වන නිවස ,  "රෑ  කෑමට  මොනවද ඕනෑ"  වැරහැලි හැඳ  ගත්  බිරිය අසනා විටෙක , සුවච කීකරු බලු සුරතලා දකින විට , බත්  හා හොඳි  එකම වෙලාවට ගන්නා  ආහාරවේල් දකින විට , සෑම දිනකම නිදා ගන්නා ඇඳ දැකීමෙන් විඩා  වූ විටෙක,

කණ්ණාඩියෙන්  මුහුණ බල විටෙක, මේකප් දමන විටෙක, ඔබට ඔබවම , ඔබේ කටහඬම  විඩාවක් වූ විටෙක, 

චක්‍රයක් වූ එකම සිතුවිලි පෙරලි පෙරලී මතුවන විටෙක , නීරස ජීවිතය ඔබ ගිල ගෙන විඩාවට පත්කල  විටෙක,

මේ  සියලු දේ හැර දමා පලා ගොස් නව ජීවිතයක්  අරඹන්න...

Translated by Jahooli Devi

Extract from the short story "Au soliel" , De Tunis à Kairouan , Edition Complexe, Guy de Maupaasant, pg 3-5. 

No comments: