Sunday, February 18, 2018

ජම්බු ගෙඩිය සහ අරුම පුදුම සත්තු

Image result for jambu tree paintingමා කුඩා කල සිතා  සිටියේ ගැහැණු ළමුන් ඉතා සංවර, ආඩම්බර, ඒ වාගේම හරිම ලජ්ජාශීලී, ශීලාචාර පිරිසක් ලෙසයි. ඔවුන් පිරිමි ළමුන්ව දකින්නේ යක්ෂයින් ලෙස යැයි ද මම සිතා සිටියෙමි. සමහර විට එසේ සිතීමට හේතු වූයේ  කුඩා කල මා හට ගැහැණු ළමුන් හා සෙල්ලම් කිරීමට හෝ කතා කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති වූ නිසා විය හැක. අඩුම තරමින් මා ඉගෙනුම ලැබූ පාසලද පිරිමි විදුහලක් වීම තුල මා හට ස්වභාවිකව ගැහැණු ළමුන් පිලිබඳ යම් කිසි හෝ අවබෝධයක් ලැබීමට තරම් ඉඩක් නොවුනි. අනෙක් කරුණ නම් මා ඉරිදා දහම් පාසැල ද දැඩි ලෙස මග හැරීමයි. ඉතින් මා හට කිසිම අයුරකින් කුඩා කල නම් මේ අපුරු සත්වයා  දැන  හැඳිනීමට  නම් නොහැකි විය.  හැම  විටම මා ගැහැණු ළමුන් පිලිබඳ අවබෝධයක් ලැබුවේ ඇස්  දෙකින් දැක, හැරුණු විට මිස,  ඔවුන් සමග කතා බස් කර හෝ ඔවුන්ට සවන්දීමෙන්වත්, ඔවුන් සමග එක්ව මොනයම් හෝ වාදයක යෙදීමක් තුලින් නම් නොව කෙටියෙන් කියතොත් මා ඔවුන්ව දන්නේ, ඔවුන් ගැන  මගේම හිතින් මා තුල ගොඩ නගා ගත්  ආකල්ප මත මිස, ඔවුන්ගේ ප්‍රායෝගික කතා මත හෝ හැසිරීම් මත නම් නොවේ.


ඉතින් මම ඔබට කියන්නම් දවසක්  අහම්බෙන් වගේ මම ඉරිදා දහම් පාසලට ගොස් උන අපූරු විපත්තියක්.

එදා මම උදෙන්ම වගේ ගිය දවසක්, මොකද තාත්ත මාව ඇත්තටම දහම් පාසලට "එලවපු" දවසක්. හැබැයි මම යනකොටත් මේ අපූරු සත්වයෝ හතර පස් දෙනෙක් පන්සලේ ගහක් යට ඩෙස් බංකු දෙක තුනක් තියන් වෙනද වගේම "තාවකාලික පන්තියක්" හදාගෙන. මම තමයි මුලින්ම ආපු පිරිමි පරාණේ. හැබැයි මම ගිය ගමන් දැක්ක, මේ අපූරු සත්තු ටික මේ තාවකාලික පන්තියට ටිකක් එහායින් තිබුන ජම්බු ගහක් යටට ගිහින්  එකේ තිබුන එකම ජම්බු ගෙඩිය කඩන්න වෑයම් කරනවා.
සමහරු උඩ පනිනවා ජම්බු ගෙඩිය කඩන්න. තව එකියක් පොඩි කෝටු කෑල්ලක් උස්සන් දඟලනවා. එකියක්  ගහ හොල්ලනවා. එකියක් කට ඇරන් ජම්බු ගහ දිහා හිනා වෙවී බලන් ඉන්නවා. මමත් ඉතින් ටිකක් වෙලා බලාගෙන හිටිය මේ අරුම පුදුම සත්තු මේ කරන දේ. ඔහොම බලන් ඉන්නකොට, මොන කරුමෙකටද මන්ද මටත්  හිතුන ගිහින් මේ ජම්බු ගෙඩිය කඩන්න.
මම ඉතින් කිසිම කතාවක් නැතුව බිල්ල වගේ ගිහින් එක පාරක් දෙකක් උඩ  පැනල ජම්බු ගෙඩිය තියෙන අත්ත අල්ල ගත්ත, ඊට පස්සේ හෙමින් හෙමින් පහත් කරලා ජම්බු ගෙඩිය කඩා ගත්ත. ඒත් එක්කම ජම්බු අත්ත අත ඇරලා, ජම්බු ගෙඩිය යට පැත්තේ හිටපු අහිංසක කළු කුඹි දෙතුන් දෙනා  අහකට යන්න හුළං පාරකුත් පිඹල දත් දෙකට තියල කෑල්ලක් හැපුව විතරයි. මෙන්න බොලේ මේ අපූරු සත්තු මාව වට කරන්  කියනවා,

"ආ....ඉන්න කියන්න ලොකු සර්ටයි, හාමුදුරු වන්ටයි. , ඔයා ජම්බු ගෙඩිය කැඩුව  කියල."  

 අනේ දෙවියනේ මේ මොකක්ද මේ උනේ? ඉතින් එයාලානේ මුලින්ම ඒක කඩන්න හැදුවේ, එකනේ මමත් ගිහින් කැඩුවේ! අනිත් එක ඒගොල්ලෝ කඩන්න හැදුවේ කන්න නෙමේද? මේ මොකක්ද මේ උනේ? හැබැයි ඉතින් මම එයාලට දුන්නේ නැහැ තමයි, අඩු ගානේ කෑල්ලක් වත් දුන්නේ නැහැ තමයි. අනික ජම්බු ගෙඩියක් කොහොමද කන්නේ පස් හය දෙනෙක්?
වෙරළු ගෙඩියක් හත් දෙනෙක්  කාපු  කතාවක් නම් මම අහල තියෙනවා. එත් ඉතින් මම ඔය කතාව  විශ්වාස කරේ නැහැ. මට රත් උනා. මම මේ මොකක්ද කර ගත්ත විනාසේ? මම ඇටි  කෙහෙල් ගිලපු උගුඩුව වගේ බලන් හිටිය  මේ අපූරු සත්තු දිහා. උන්ගේ මුනේ නම් කිසි අනුකම්පාවක් නැහැ, ඇස් ගෙඩි දිලිසෙනවා. උන් වියරු වැටිලා..හරියට කොටි දෙනුන් වගේ...නැහැ නැහැ  උන් මම දිහා බලන් හිටියේ මම හරියට උන්ගේ දීග දෙනකොට දෙන්න හිතන් ඉන්න දැවද්දම හොරකන් කරපු පල්  හොරෙක් දිහා බලන් ඉන්න තාලෙට.

 මම යන්තම් හපපු ජම්බු කෑල්ල හපන ගමන්, මතක් කර ගත්ත මුළු දහම් පාසලේම ළමයි ඉස්සරහ ලොකු සර් "මේ ජම්බු ගෙඩියේ හොරකම" කියල මට අර මහතා වේවැලෙන් පත බානවා. ඉන් පස්සේ ඔක්කොම ළමයි ටික මට දානවා නමක් "ජම්බු හොරා" කියල. තවත් නම් මම ජීවත් වෙලා ඉවරයි.  මගේ අත පය වෙව්ලලා ගියා. දෙවියනේ මම දැන් මොකද කරන්නේ? දහම් පාසලේ උදේ ගාථ කියන්න බෙල් එකත් දැන් ගහයි...අය්යෝ...මේ ජම්බු ගෙඩියකුයි මේ ගැහැණු පරාණ ටිකයි මට කරපු වින්නැහිය...ඉතින් නම් තවත් මට මේ දේවල් හිතන්න නම් තවත් බැරිය. මම ඉක්මනට ගිහින් පොත් දෙක අතට අරන් ගෙදරම දුවන් ආවා එක ආවා හැල්මෙම. හිතට දැනුනේ හරිම සැහැල්ලුවක් මේ අපූරු සත්තුන්ගේ දෑස් මානෙන් මිදුනම. එත් මම අයෙත් දුවන ගමන් කල්පනා කරා, මේ සිද්ද වෙච්ච දේ තේරුම් ගන්න. අනේ දෙවියනේ..මගේ මේ පුංචි මොළ ගෙඩියට නම් එක තේරුම් ගන්න බැරි උනානෙ. ඒ කොහොම වෙතත් තාත්ත එලෙව්වත් ආයෙත් නම් දහම් පාසල් ගියේ නම් නැහැ.

ඉතින් මගේ කර දඬු උස මහත් වෙලා අහම්බෙන් වගේ මේ සිද්දිය ආයෙත් මතක් උනා. මම නිකමට වගේ හිතුව මොකක්ද එදා ඒ උන ගිනි  විජ්ජුම්බරේ  කියල. එතකොටනේ මට තේරුනේ, අය්යෝ අය්යෝ ...මම වගේ ගොන් හරකෙක්, මට තිබුනේ ඒ කඩපු ජම්බු ගෙඩිය, එතන හිටපු අර ලස්සන, සුදු, උස, හීන් දෑරි, ඇස් දිගටි,   නිල්  පාට ගවුමක් ඇඳන් හිටපු අපූරුම අපූරු සතාට දෙන්නයි.
එහෙම  කරා නම් මේ වෙනකොට මම  හොඳට බණ දහම් දන්නා ධර්මාචාර්‍යය කෙනෙක් වෙන්නත්  තිබුන. කරුමෙක මහත! 

Written by Manu Fernando

Saturday, February 10, 2018

The other wife L'autre femme අනිත් බිරිඳ - Sinahala translation


Image result for l autre femme colette



« දෙන්නෙක්ට කෑම ගන්නද?  මෙහෙන් එන්න සර්.  සර් යි  මැඩම් යි කැමති නම් මුහුද පේන්න ජනේලයේ ගාව ඉද ගන්න පුලුවන්, තව එක මේසයක් ඉතුරු වෙලා තියෙනවා. »

ඇලිස් හෝටලේ මැනේජර් පිටිපස්සෙන් ආවා.
« ආ ඔව් මයි, මාර්ක් එන්න කෝ. මුහුදෙ පාවෙන බෝට්ටුවක ඉන්නවා වගේ අපට කෑම කන්න පුළුවන් ».
ඇගේ ස්වාමි පුරුෂයා ඈව බාහුවෙන් ඇදල ගත්තා.
« අපිට අතන හොඳයි. »
« අතන? ඔක්කොම සෙනඟ මැද්දේ? මම නම් ආස.... »
« අනේ ප්ලීස් ඇලිස් ! »
ඔහු ඇගේ අත කොතරම් තදින් මිරිකුවා ද කිවහොත් ඈ ඉබේම හැරුණා.
« ෂ්ෂ්ෂ් »  ඔහු ඈ දිහා බලාගෙනම , මැද්දේ තියෙන මේසෙට එක්කගෙන ගියා.
« මාර්ක් ඇයි අනේ මොකද වෙලා තියෙන්නේ ඔයාට ?
« මන් ඔයාට පස්සේ කියන්නම් ඩාලින්, මුලින්ම අපි කෑම ඕඩර් කරමු. මොනවද ඔයාට ඕනේ? ඉස්සෝ ද? තම්බපු බිත්තරද? »
« ඔයා කැමති දෙයක්. ඔයා දන්නවානේ. »
දාඩිය පෙරාගෙන , හොඳටම වැඩකරලා හෙම්බත් වෙලා හිටිය හෝටල් මැනේජර් ගෙ වටිනා කාලය නාස්ති කරමින් මේ දෙන්නා කොමළ පාන්න ගත්තා. 
« ඉස්සෝ... »  මාර්ක් ඇණවුම් කලා. 
« බිත්තර එක්ක බේකන් . ඊට පස්සේ, සලාද කොල එක්ක කුකුල් මස්.
ක්‍රීම් චීස්? මොනවද මේකේ හොඳම කෑම එක? ආ ඒකත් ඕනේ.
අන්තිමට හොඳ උණු කෝපි දෙකක්.  අපි ඩ්‍රයිවර් මහත්තයාටත් කන්න කියමු. දෙකෙ වෙද්දී යන්නත් ඕනෙ නේ.
සයිඩර්? ඒක එච්චර හරි නැහැ. ෂැම්පේන් හොඳයි. »
ගිනි මද්දහනේ පාටක් නොමැති මහ සාගරයත්, සුදු පාට  අහස් තලයත් , ලොකු  එල්ලෙන වේලයක් තියෙන කුඩා මර්ක්යුර් තොප්පියක් පැලඳ සිටින ලස්සන බිරිඳ ත් දිහා බලලා ලොකු බරකින් නිදහස් වුණා වගේ ඔහු හුස්මක් පිට කලා.
« ඔයා හරි ලස්සනයි පැටියෝ. මුහුදේ තියෙන නිල්පාට ඔයාගේ ඇස් කොල පාටට හරවනවා. ට්‍රිප් ගිහිල්ලා ඔයා ටිකක් මහත් වෙලා. ලස්සනයි. හැබැයි ගොඩාක් මහත් වෙන්න නම් එපා! »
ඈ ආඩම්බරෙන් මේසේ උඩට බර වුණේ රන් තිසර යුගලත් පෙන්නමින්.
« ඇයි ඔයා මට ජනේල ගාව ඉඳ ගන්න දුන්නේ නැත්තේ? »
මාර්ක් සෙගියු ට බොරු කියන්න ඕනේ වුනේ නැහැ.
« ඔයා මන් අඳුරන කෙනෙක් ගාව තමා ඉඳ ගන්න ගියේ. » 
«  මන් අඳුරන්නේ නැති කෙනෙක්? » 
« මගේ ඉස්සෙල්ලා එක්කෙනා » 
ඈට වචන නැතිව ගියා. නිල් පාට ඇස් ලොකු වුණා.
 « ඉතින් අපිට මොකද ඩාලින්, ආපහු හම්බ වෙන්නත් පුලුවන්. අපිට එයාගෙන් වැඩක් නැහැ. »
 ඇලිස් ට ආපහු සිහිය ආව. පිලි වෙලකට අනිවාර්ය ප්‍රශ්න ටික අහන්න ගත්තා. 
« එයා ඔයාව දැක්කද? «  
« එයා දැක්කද ඔයා එයාව දැක්ක කියල? » 
« පෙන්නන්න එයාව මට ? »
« එක පාරටම පිටිපස්ස හැරිල බලන්න එපා ප්ලීස්. එයා අපි දිහා බලන් ඉන්නවා ඇති. පොඩ්ඩක් කලු, තොප්පියක් දාන් නැති කෙනා. අර තනියම ඉන්නේ. රතු පාට ඇඳන් ඉන්න ළමයි පිටිපස්සේ. »
« ආ ඔව් මට පේනවා. »
ඇලිස්, තොප්පියේ ලොකු වේල් එක යටින් , මීට මාස පහළොවකට ඉස්සෙල්ලා එයාගේ සැමියාගේ බිරිඳ වෙලා හිටිය ගෑණු කෙනාව නිරීක්ෂනය කලා.
« නොගැලපීම්! » මාර්ක් ඒ දවස් වල කිව්වා.
« කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. »
« අපි යාලුවො වගේ කතා බහ කරලා කිසිම ප්‍රශ්නයක් නැතිව  ඉක්මනටම දික්කසාද වුණා. »
« ඊට පස්සේ මන් ඔයාට ආදරේ කරන්න ගත්තා. ඔයාට මාත් එක්ක සතුටින් ඉන්න ඕනේ වුණා. අපි කොච්චර සන්තෝෂයෙන්ද ඉන්නේ? අපේ සතුටට වැරදි කාරයොවත් කාවත් බිල්ලට අරන්වත් නැහැ. »
තොප්පියක් නොපැලඳ සිටි සුදු හැඳි කාන්තාවගේ දිලිසෙන කේශ කලාපය මුහුදු අව් රශ්මියට කැඩපතක් මෙන් දිලිසුණා. ඈ ඇස් බාගෙට පියාගෙන සිගරැට්ටුවක් උරමින් සිටියා.
ඇලිස් නැවත ස්වාමි පුරුෂයා පැත්තට හැරිලා , ඉස්සෝයි බටර් යි හිමින් සීරුවේ කෑවා.
පොඩි නිශ්ශබ්දතාවයකින් පස්සේ
« ඇයි ඔයා මට කිව්වේ නැත්තේ , එයාට තියෙන්නත් නිල් පාට ඇස් කියල? »
« මන් ඒ ගැන හිතුවේ නැහැ »
පාන් වට්ටිය වෙත දිගු කරපු ඇගේ අත ඔහු සිප ගත්තා. ඈ ලජ්ජාවෙන් රතු වුණා.
මහත, දුඹුරු පැහැ සමක් හිමි ඒ කාන්තාව බැලූ බැල්මට ටිකක් රළු පාටයි. ඒ වුනාට නිතරම වෙනස් වන නිල් පාට ඇස්, රත්තරන් පාට කොන්ඩෙ නිසා  ඈ ටිකක් දුර්වල සංවේදී කෙනෙක් බවට පත් කරල තිබ්බා. ඈ හිටපු ස්වාමි පුරුෂයාට කිසියම් කෘතඥ තාවය පල කරන බවකුත්, ඉතා ම සතුටින් ඉන්න බවකුත් පෙනුණා.
ඔවුන් දෙදෙනා හොඳට කෑවේ බීවේ අනිත් කෙනා ව අමතක වෙලා වගේ.
ඇලිස් අසාමාන්‍ය ලෙස මහ හයියෙන් හිනා වුණා. මාර්ක් ඇගේ ඇඟ දිහා බලන් හිටියා. උරහිස හෙලෙවෙන විදිහ, බෙල්ල දික්වෙලා තියෙන විදිහ. 
කෝපි කෝප්ප දෙක එනකම් ඔහේ නිශ්ශබදව බලාගෙන හිටියා.
« එයා තාම එතැන ඉන්නව. »  ඇලිස් යාන්තමට මිමුණුවා.
« එයාට ඔයාව කරදරයක්ද? අපි කෝපි බොන්න වෙන තැනකට යමුද? »
« නැහැ නැහැ ඕනේ  නැහැ, එයාට තම වදයක් වෙන්න ඕනේ අපි ඉන්න එක. »
« එයා එච්චර සතුටින් ඉන්න බවක් නම් පෙන්න නැහැ නේද? »
« වැඩක් නැහැ. මන් දන්නව ඒ එයාගෙ හැටි »
« ආ ඇත්තද? එයාගේ හැටිද? »
සිගරැට් දුම් නාස් පුඩු වලින් පිම්බ ඔහු ඈට රැව්වා.
« හැටි??? නෑ... ඇත්තටම කිව්වොත් එයා මාත් එක්ක සන්තෝසෙන් නෙමේ හිටියේ. »
« ඒ කොහොමද? »
« ඔයා හරිම වටිනා වස්තුවක් පැටියෝ. මන් ඔයාට පිස්සු වැටිල ඉන්නේ මගේ රත්තරන්. ඔයා මට ආදරෙයි.  මට හරිම ආඩම්බරයි. ඔයාගෙ ඔය ඇස් දකින කොට. 
ඔව් ඒ වුණාට එයාගේ ඇස් . මන් දන්නේ නැහැ කොහොමද එයාව සතුටින් තියන්නේ කියලා. ඒක තමා ඇත්ත. මට තේරෙන්නෙ නැහැ. »
« එයා හරි අමාරු කෙනෙක් වගේ. »
පුටු විට්ටමට බරවෙලා සිගරැට්ටුව උරමින් කම්මැලි කමින්, හරිම සෑහීමකට පත් විලාසයකින් සිටි සුදු ඇඳි කාන්තාව දෙස විටින් විට බලමින් ඇලිස් නොරිස්සුම් සහගත ලෙසින් පවන් ගහන්න ගත්තා .
මාර්ක් උරහිස් ගැස්සුවා.
« අන්න හරිම වචනය. අමාරුයි. අපිට මොනවද ඒකට කරන්න තියෙන්නේ
මොනම දෙකින් වත් සෑහීමකට පත් නොවන අයට අපි අනුකම්පා කරන්න ඕනේ. ඒකට අපි! අපි නම් හරිම සතුටින් නේද ඉන්නේ ඩාලින්? »
ඇලිස් උත්තර දුන්නේ නැහැ.
ඈ ස්වාමි පුරුෂයාගේ මූණ දිහා හොඳට බැලුවා. මූණ ටිකක් රතු පාට යි.  තැනින් තැන ඉදිච්ච ගොරෝසු කෙස් ටික උඩට පීරගෙන. නියපොතු පිරිසිදුවට කොටට කපලා. පොඩි අත් දෙකක් . සාමාන්‍ය කෙනෙක්.
පලමු වතාවට ඈ මෙහෙම සැකයෙන් ඇහුවා.
 « එයාට මීට වඩා තවත් මොනවද ඕනේ කරල තිබුණේ?? »
මාර්ක් බිල ගෙවලා රියදුරු මහත්තයාගෙන් පාර අහලා, එතනින් යනකම් ම ඈට මේ සුදු ඇඳි කාන්තාව දිහා ඊර්ෂ්‍යාවෙන් හා කුතුහලයෙන් බලන එක නවත්තන්න බැරි වුණා.
මෙහෙමත් අමාරු, සතුටු කර්‍න්න බැරි , මාර ගෑණියෙක්!

Translated by Jahooli Devi

The original French short story " L'Autre Femme" by Colette from the short story collection " La femme cachée"
Image result for l autre femme colette

Saturday, December 2, 2017

බලා සිටියෙමි මම, ගිනියම් වු මද්දහනේ!



නුවර වැව ඉස්මත්තේ
විසල් තුරු වියන යට
ගල් බැම්මේ වාඩි වී 
නුඹ සිටිය අපුරුව...

වැව් තලය සිප නිතින
හමා  එන පවන් රැලි
වැදී නුඹේ කෙහෙ රැළිති
කරන දඟ මුව දැවටී...

විඩා බර මුව මඬලේ
නැගෙන ඩා දිය බිඳිති
පිසලමින් හිනැහෙමින්
දොඩමලු වූ නුඹේ දෙස...

බලා සිටියෙමි ,
ගිනියම් වු මද්දහනේ!


By Manu Fernando.